ඒ 2028 අවරුද්ද. මං වැඩකෙරුවෙ 'සියත' පත්තරේ. ගෙදර යන්නෙ කලාතුරකින්. එහෙම කලාතුරකින් ගිය දවසක අම්මා හිටි හැටියෙම වගේ අසනීප වුණා. අසනීපෙ තේරුම් ගන්න බෑ. අම්මා කියවනවා. ඒ භාෂාව තේරුම් ගන්න බෑ.
මාත් එක්ක ගෙදර ගිහින් හිටියා අතුල විතානගේ සහෝදරයත්, චානක ක්‍රිෂාන්ත සහෝදරයත්. ඒ දෙන්නත් වැඩකළේ 'සියතෙ'. අපිට වාහනේ තිබ්බා. වෑන් එකක්.
මම ක්‍රිෂා නැගිට්ටුව. 'මචං අම්මට අමාරුයි වගේ. අරන් යමු.
ක්‍රිෂා විනාඩියෙන් වාහනෙ කරකෝලා ගත්තා. මම නයිටිය පිිටින්ම අම්මාව උස්සගෙන ගිහින් වාහනෙට දාගත්තා.
''ෂූගර් ලෙවල් එක හොදටම බැහැලා'' මහා පාන්දර පානදුර ඉස්පිරිතාලෙ හිටපු ඩොක්ටර් කිව්වා. ''හොස්පිට්ල් අරන් අවෙ අම්මගෙ වාසනාවට''
එදා අපි ගෙදර ගිහින් හිටියෙ අන්තිම අහම්බෙන්. එහෙම ගිය නිසා, වෑන් එක තිබ්බ නිසා අම්මව ඒ විදිහට ඉස්පිරිතාලෙට ගෙනිය ගන්න පුළුවන් වුණා. එහෙම නොවුණ නම්, ත්‍රී වීල් එකක් හොයා ගන්න මහන්සි ගන්න වෙලාව හොඳටම ඇති වෙන්න තිබුණා ජීවිතය පිළිබඳ අදහස වෙනස් වෙන්න.
අන්‍ය භාෂාවෙන් කතා කරපු අපෙ අම්මා ඔන්න තාම 'සුපුරුදු' හිනාවෙන් ඉන්නවා. උදේට ගීතිකා අහනවා. ඹරසං කියනවා. හවසට නුවානෙ තියනවා. පහන තියනවා. හැකි හැම විටම කොන්තෙ කියනවා. දෙවියන්වහන්සෙට ස්තූති කරනවා. ඔන්න ඔහොම තමයි ඒ දේව භක්තිය.
මේ 'සීනි' සිද්ධිය කවියක් ඇතුළට එමින් යමින් තිබුණා. කාලාන්තරයක් තිස්සෙ. කාලාන්තරයක් තිස්සෙ මගේ කාව්‍යමය ලියවිලි ඇතුළෙ විසිරුණු සටහන් විදිහට තිබුණු ඒ කවිය මං මෙන්න මේ විදිහට ඉවර කරලා අද - ඒ කියන්නෙ මාර්තු 10 - අම්මට 'වට්සැප් කළා.
නීරස සිහිනයක මිහිරි මතකය
‘සීනි වියරුවෙන්’ නීරසවුණු සිහිනේ
නේන ගමන් යන සඳවත නතරවුණේ
පාන තියන, කොන්තය මුමුණන මුවිනේ
කෝම ‘අන් බසෙක’ වියරණ ඇද හැලුණේ
නයිටිය පිටින් පටවාගෙන දඬුමොණරේ
කිරිබේරිය අහස කළඹා ගණාඳුරේ
ගාලුපාර වෙත එනකොට පානදුරේ
හදබස පමණි ඉතිරිය මගේ පපුතුරේ
පානදුරේ ඉස්පිරිතාලය අයිනේ
රෑක බරට රන්පත් දහක් ඇවිලුණේ
පාන්දරට රහසිනි සිහින එළිවුණේ
රෑන් සමනලුනි තෙපි කොයිබ ඉගිලුණේ
දෙපස නැඟුණ ඉන්සියුලින් සීසෝව
අතැර දමා ඈ අහසට ඇදුණාද
සිතිජ ඉමෙහි ස්වර්ගයෙ දොර පෙනුනාද
අපිව දමා යනු බැරියෙන් හැරුණාද
තාන්තුවාවෙනි භගවත් ගීතාව
තාත්තා රැදෙයි ඇඳ ඉහපත ගාව
යාච්ඤාව මත ඇවිලී ගාථාව
මේන් හිනාවෙන වික්සොප මාතාව
දොදොළු කේක් සව්බර කන්නට ආස
තොදොලු බස් දොඩන සුන්දර ලලනාව
පරළු පාන් පොතු කනහැටි දුටුවාම
ඇතුළු හද පෙරෙයි දුකඳුළු මදිරාව
පසන් කන්තාරු හුරතල්වන ලවන
ලතින් පද වුණත් ළෙලවෙන හැටි පුදුම
හිතින් මතක් කර මිමිණූ ඔරසමක
අතින් ඇනූ බත්ගුලි දහසක් තිබිණ
මේට්ෆොමින්’ ද ‘ඩයිනිල්’ මැද මැවෙන ලොවේ
දහසක්
පෙති ඇතත් ඒ පෙති මලෙක නොවේ
‘සිතාග්ලිප්ලින්’ ය දැන් මඳහසෙක
සුවේ
ඒ එක මඳහසෙක ස්වර්ගය ඇසග මැවේ
නාඩු -රතු සහල් සුවඳ ම විඳගන්න
රහට කලත්තා කිරි කහටම බොන්න
යළිදු දිනෙක චොකලට් පෙත්තක්
කන්න
මගෙත් ආයු අරගෙන ඔබ හිනැහෙන්න
2020 මැයි 10








