Tuesday, 10 March 2020

නීරස සිහිනයක මිහිරි මතකය




ඒ 2028 අවරුද්ද. මං වැඩකෙරුවෙ 'සියත' පත්තරේ. ගෙදර යන්නෙ කලාතුරකින්.  එහෙම කලාතුරකින් ගිය දවසක අම්මා හිටි හැටියෙම වගේ අසනීප වුණා. අසනීපෙ තේරුම් ගන්න බෑ. අම්මා කියවනවා. ඒ භාෂාව තේරුම් ගන්න බෑ. 
මාත් එක්ක ගෙදර ගිහින් හිටියා අතුල විතානගේ සහෝදරයත්, චානක ක්‍රිෂාන්ත සහෝදරයත්. ඒ දෙන්නත් වැඩකළේ 'සියතෙ'.  අපිට වාහනේ තිබ්බා. වෑන් එකක්. 
මම ක්‍රිෂා නැගිට්ටුව. 'මචං අම්මට අමාරුයි වගේ. අරන් යමු. 
ක්‍රිෂා විනාඩියෙන් වාහනෙ කරකෝලා ගත්තා. මම නයිටිය පිිටින්ම අම්මාව උස්සගෙන ගිහින් වාහනෙට දාගත්තා. 
''ෂූගර් ලෙවල් එක හොදටම බැහැලා'' මහා පාන්දර පානදුර ඉස්පිරිතාලෙ හිටපු ඩොක්ටර් කිව්වා. ''හොස්පිට්ල් අරන් අවෙ අම්මගෙ වාසනාවට''
එදා අපි ගෙදර ගිහින් හිටියෙ අන්තිම අහම්බෙන්. එහෙම ගිය නිසා, වෑන් එක තිබ්බ නිසා අම්මව ඒ විදිහට ඉස්පිරිතාලෙට ගෙනිය ගන්න පුළුවන් වුණා. එහෙම නොවුණ නම්, ත්‍රී වීල් එකක් හොයා ගන්න මහන්සි ගන්න වෙලාව හොඳටම ඇති වෙන්න තිබුණා ජීවිතය පිළිබඳ අදහස වෙනස් වෙන්න.   
අන්‍ය භාෂාවෙන් කතා කරපු අපෙ අම්මා ඔන්න තාම 'සුපුරුදු' හිනාවෙන් ඉන්නවා.  උදේට ගීතිකා අහනවා. ඹරසං කියනවා. හවසට නුවානෙ තියනවා. පහන තියනවා. හැකි හැම විටම කොන්තෙ කියනවා. දෙවියන්වහන්සෙට ස්තූති කරනවා. ඔන්න ඔහොම තමයි ඒ දේව භක්තිය.
මේ 'සීනි' සිද්ධිය කවියක් ඇතුළට එමින් යමින් තිබුණා. කාලාන්තරයක් තිස්සෙ.  කාලාන්තරයක් තිස්සෙ මගේ කාව්‍යමය ලියවිලි ඇතුළෙ විසිරුණු සටහන් විදිහට තිබුණු ඒ කවිය මං මෙන්න මේ විදිහට ඉවර කරලා අද - ඒ කියන්නෙ මාර්තු 10 - අම්මට 'වට්සැප් කළා.
නීරස සිහිනයක මිහිරි මතකය
‘සීනි වියරුවෙන්’ නීරසවුණු සිහිනේ
නේන ගමන් යන සඳවත නතරවුණේ
පාන තියන, කොන්තය මුමුණන මුවිනේ
කෝම ‘අන්‍ බසෙක’ වියරණ ඇද හැලුණේ

නයිටිය පිටින් පටවාගෙන දඬුමොණරේ
කිරිබේරිය අහස කළඹා ගණාඳුරේ
ගාලුපාර වෙත එනකොට පානදුරේ
හදබස පමණි ඉතිරිය මගේ පපුතුරේ

පානදුරේ ඉස්පිරිතාලය අයිනේ
රෑක බරට රන්පත් දහක් ඇවිලුණේ
පාන්දරට රහසිනි සිහින එළිවුණේ
රෑන් සමනලුනි තෙපි කොයිබ ඉගිලුණේ

දෙපස නැඟුණ ඉන්සියුලින් සීසෝව 
අතැර දමා ඈ අහසට ඇදුණාද
සිතිජ ඉමෙහි ස්වර්ගයෙ දොර පෙනුනාද
අපිව දමා යනු බැරියෙන් හැරුණාද

තාන්තුවාවෙනි භගවත් ගීතාව
තාත්තා රැදෙයි ඇඳ ඉහපත ගාව
යාච්ඤාව මත ඇවිලී ගාථාව
මේන් හිනාවෙන වික්සොප මාතාව

දොදොළු කේක් සව්බර කන්නට ආස
තොදොලු බස් දොඩන සුන්දර ලලනාව
පරළු පාන් පොතු කනහැටි දුටුවාම
ඇතුළු හද පෙරෙයි දුකඳුළු මදිරාව

පසන් කන්තාරු හුරතල්වන ලවන
ලතින් පද වුණත් ළෙලවෙන හැටි පුදුම
හිතින් මතක් කර මිමිණූ ඔරසමක
අතින් ඇනූ බත්ගුලි දහසක් තිබිණ

 මේට්ෆොමින්’ ද ‘ඩයිනිල්’ මැද මැවෙන ලොවේ
දහසක් පෙති ඇතත් ඒ පෙති මලෙක නොවේ
‘සිතාග්ලිප්ලින්’ ය දැන් මඳහසෙක සුවේ
ඒ එක මඳහසෙක  ස්වර්ගය ඇසග මැවේ

නාඩු -රතු සහල් සුවඳ ම විඳගන්න
රහට කලත්තා කිරි කහටම බොන්න
යළිදු දිනෙක චොකලට් පෙත්තක් කන්න
මගෙත් ආයු අරගෙන ඔබ හිනැහෙන්න

2020 මැයි 10

Wednesday, 21 September 2016

අජ්ජා



අජ්ජාගෙයි මගෙයි පත්තරකාර අද්දැකීම් ‘මෙමුවා‘ වකට ගත යුතු යැයි මම සිතමින් ඉන්නෙ. දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව තෙක් ද, ගාලු මුවදොර ඉඳන් සංගමන් කන්ද දක්වා ද, ගොඩිබිමට යා නොවූ බත්තලංගුන්ඩුවේ සිට කොකිලායි දක්වා ද, අප දෙදෙනා පය නොගැසූ තැනක් නැතුවා තරම්. ඒ නම් ‘මෙමුවා‘ වත තැබිය යුතු අද්දැකීම් සම්භාරයෙක්.

අජ්ජා තවමත් සක්රිය පත්තරකාරයෙක්. වයසින් අප දෙදෙන සමාන්තර වුවත් වෘත්තීමය වශයෙන් ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්. තවමත් අභිතව කඳුළු ගෑස් ප්‍රහාරයන්ට හා ජල ප්‍රහාරයන් මැද තම කැමරාව ළෙලවන්නෙක්. ඔහුගේ දැන් දැන් පින්තූර වඩ වඩා පරිසමාප්තියට පත්වෙමින් තියෙන්නෙ කියලා මට හිතෙනවා.  

මේ සියල්ලටම පරයා නැඟෙන අජ්ජාගේ සජීවි ලකුණු තුනක් තියෙනවා.

1. ආදරයෙන් ඇළලෙන මඳහස.

2. වනචරකමින් ඇවිලෙන බැල්ම.

3. සන්තානයේම ඇමිණෙන කඳුළ.

මචං,

බඩේ බැඳපු ෂොට්ටෙක වාසනාවන්
අපේ පරණ සැට්ටෙක වාසනාවන්
උඹේ යාළු ෆිට්ටෙක වාසනාවන්
අනේ නුවර බස්සෙක වාසනාවන්

වෙඩ්ඩා
2016 සැප්තැම්බර් 21

Wednesday, 31 August 2016

මාක් රිබෝගේ සමුගැන්මේ වේදනාව මැද






















දහක් අවි අමෝරා ගත්
සෙබල සෙනඟ මැද
මලක් ඔව්,
මලක් මැවු පිළිරාව....

මූණිස්සමට එරෙහි
මලක් ඇස පැළඳ වූ
ඔව් රිබෝ
නුඹයි ඒ
හදක් තිබු කැමරාව...

-2016 අගෝස්තු 31 







Tuesday, 31 May 2016

කදෝකිමියෙකුගේ ක්ෂුද්‍ර කටහඬ





















සඟවන් ඉන්න බැරිතැන
මනරම් අරුත් පසිඳන
මැදියම් රැයෙහි අහසට
තරු ඇස් කෙවෙනි අග්ගිසි
උණුහුම් තුෂර ඉහිමින්
කෙතරම් හිනා වෙන්නෙද?

ඉහිලුම් නොදෙන කවියක
ඉසියුම් තැනක නතරව
හොරැහින් බලන තරුවක
පපුවෙන් නැඟෙන කටහඬ
අඳුරින් පිරුණු කුටියට
කවිකම් කියා දෙන්නෙද?


-2016 මැයි 31

Saturday, 13 February 2016

‘තිස්සසිරි‘ මතකය



චාමින්ද නාගොඩවිතාන මිත්‍රවරයා හදිසි පණිවිඩයක් එවල තිබ්බ මං නැඟිටිද්දි..‘‘මචං තිස්සසිරි පෙරේරා නැතිවෙලා, මතකද උඹට අපි දවසක් පානදුරේ හොර පොට් එකක සෙට්වුණා..‘‘ 

තිස්ස අයිය අසනිපෙන් හිටියෙ කියල දැනන් හිටිය හින්දා පණිවිඩේ ක්ෂණික කම්පනයක් නොවුණෙ, ඔහු අසනීප වෙලැයි කියල දැන ගැනුණු මොහොතෙ ඉඳන් දිගමට ඔහු වෙනුවෙන් හදවතේ හිටිවැටුණු කොටස එහෙම්ම හිරිවැටිල තිබුණු හින්දා. චිරාත් කාලෙක ඉඳන් තිස්ස අයියව පානදුරේ වරින් වර දැකල තිබුණ. 1993 වගේ ඈතක අරුක්ගොඩ ‘රුක්ගහ තොටුපලේ‘ හිටපු විශාකා තිරිමාන්න කියන සහෝදරිය කරපු තනි පුද්ගල ප්‍රසංගයට මං ඇයට ලියල දුන්න ගීත දෙකක සංගීතය කළේ තිස්සසිරි පෙරේරා. මං ඒ ප්‍රසංගය නරඹපු හින්දා දන්නවා ඒ දෙකත් හරිම රමනීය තනු. නමුත් මං ඒ කාලෙ ඔහු එක්ක කතා කරලා තිබුණෙ නෑ. 

නමුත් තිස්ස අයියව ළඟ ළඟ හමුවුණෙ චාමින්දය කියන ඔය ‘හොර‘ පොට් එකේ තමයි. හැබැයි අනිවාර්යෙන්ම රෑ 12න් පස්සෙ. තිස්ස අයියා සංගීත වැඩක් කරලා කොහේ හරි සෙට් වෙලා මදිපාඩුව හරිගස්ස ගන්නෙ මෙතන. මමත් ලියවිලි රාජකාරි කරල කොහෙ හරි සෙට් වෙලා අර දේ ම කරන්න එනව ඔතනට. නමුත් මේ හොර පොට් එක පානදුර ටවුම ගැන දන්න හැමෝම දන්නව. මට අනුව නම් හරිම සුන්දර තැනක්. ‘සෝමපානය’ පිණිස ම වෙන්කරපු ඒ ගෞරවනීය අවකාශයෙ බාරකාර අයිතිකාර ස්ත්‍රී මට නම් ‘මහා නවකතාවක්‘. මේ කියන රෑ වරුවෙ එතනින් ‘ටේකවේ‘ ගන්න පුළුවන් වුණාට ගේ ඇතුළට ගන්නෙ එහෙමත් කෙනෙක්. ඔය ගේ ඇතුළට යන්න වරම් තිබුණ ගෞරවනීයම පුරවැසිය තමයි තිස්ස අයිය. පස්සෙ හිමින් හිමින් ඒ ගෙදර කුස්සියටම යන වරම් මටත් ලැබුණ. රෑ 12න් පස්සෙ මාත් එක්ක පානදුරා ගිය ඕනෑම මිත්රයෙක්ට තිස්ස අයිය හබ්බවෙලා ඇති. 

අපි බොහෝ දේ කතා කළා. ඕෆ් ද රෙකෝඩ්. තිස්ස අයියගෙ සරලකම කියන්නෙ ඔහු කවදාවත්ම කිසිකෙනෙක්ට නින්දා කරන්න හෝ අපහාස කරන්න වචන තේරුවෙ නෑ. ඔහු හැම දේම කිව්වෙ ආදරයත් එක්ක. නමුත් මං දන්නවා ඔහුගෙ ඒ අහිංසකකම, සරලකම, මොන තරම් කැත විදිහට සූරා කෑමට ලක්වුණාද කියන එක. ඔහු නිසා සංගීතඤයො වෙච්ච අය ගැන කවුරුවත් දන්නෙ නෑ. ඔහු ගහපු සෙට් උඩට ඇවිත් ඇට් කරපු සංගීතඥයො අවම වශයෙන් ඔහු වෙනුවෙන් තම ආදරයවත් පළ කළේ අන්තිම විරල විදිහට. 

ඊයෙ බුකියට අහම්බෙන් ගොඩ වුණාම කපිල එම්.  ගමගේ ඔහු ගැන ලියල තියෙන සටහන දැක්ක. කපිල මෙහෙම ලියල තිබ්බ.


‘‘ ඔහු මවිසින් රචනා කෙරුණු "සූරියවැව පොලට ගිහින්" ළමා ගීයකට ඉතා අපූරු තනුවක් නිර්මාණය කළා. ඒ පටිගත කිරීම කළ රාත්‍රියේ ඔහුව ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට පානදුරට යවන්නට අප ගත් වෙහෙස ආනන්දජනක මතකයක්.‘‘ 

අන්න එහෙම පානදුරට ආපු කෙනා එක්ක තමයි මං ඇසුරු කළේ. ඔහු එක්ක, ඔහු ගැන, ජීවිතය ගැන, සංගීතය ගැන කප්පරක් දේ කතා කළත් ඒ කිසිම දෙයක් මාධ්‍යයට ඇවිත් කතා කරන්න ඔහුට ඕනි වුණේ නෑ. ඔහු කැමති වුණේ නෑ ඒ සරල ජිවිතයෙන් අත්මිදෙන්න. කොටින්ම චරිතයක් වෙන්න. ඔහු වයලීනය අතෑරල අර ගන් එක ඉස්සර ඉඳන් ඉන්න එක ගැන මං වාද කළා එක දවසක් මහ පාන්දරක. ඔහු අර ඇස් ඉරටු කරලා දාන ඔහුටම අනන්‍ය හිනාව දාල ‘‘හරි හරි බං ඔහොම තමයි ඕව වෙන්නෙ‘‘ කිව්ව. ඒ කතාවෙ තිබුණ ඔහුට අත්වුණු ඉරණමේ සමස්ථය.


මං ‘සියත‘ පත්තරේ ඉන්න කාලෙ දවසක් අන්තිම අමාරුවෙන් ඔහුව කැමති කරගත්ත ඕෆ් ද රෙකෝඩ් පදනම බිඳගත හැකි කතාබතාවකට. ඒ කතා බහෙන් කොටසක් සංවාදයක් විදහට ලිව්ව. 

තිස්සසිරි පෙරේරා කළ රමනීය තනු වලින් කොටසක් කපිලගෙ පෝස්ටුවෙ තිබ්බ. ඒවා ඇත්තටම රමනීය තමයි. නමුත් තිස්ස කියන්නෙ මේ සියලුම තනු වලට වඩා රමනී තනුවක් වෙච්ච මිනිහෙක්. 

තිස්සසිරි අයියෙ ඔබට සුබ ගමන්.

Saturday, 10 October 2015

තටු ලැබුණු 'පිටුවහල් පිටු'










අතට ගෙන බලනකොට
ඇස වයින් පෙරෙනවා
මධු බඳුන! මට දෙන්න සමා....
පොත වුණත් බම බමා
ඇස් කෙවෙනි කෙවෙන්නේ
තැපෑලෙන් වදිනකොට තමා....

2015 ඔක්තෝබර් 10.

(පොත අදයි තෑපෑලෙන් ලැබුණෙ)

Sunday, 31 May 2015

මිස් !






















මිස්!

අපට ඔබ
මිස් වුණා
මිස්!!!


2015 මැයි 31

Thursday, 1 January 2015

මනුවර්ණ








"ඇත්ත හොයා ගන්නට නම් අවම වශයෙන් සමාජයක් වශයෙන් තර්ක කිරීමට අප පුරුදු පුහුණුවිය යුතුය." (මගේ ආදරණීය යක්ෂණී 276 පිට.)
රැල්ල ඇති කරන්නට වෙර දුන් බරපතල කලාකරුවන් අතලොස්ස අඛන්ඩව තම නිර්මාණාත්මක ශ්‍රමය ඒ වෙනුවෙන් නිර්ලෝභීව විය පැහැදම් කළා. නමුත් දැන් ඒ නැගැ එන රැල්ලෙන් ‘පශ්චත්තාපය‘ සෝදා ගැනීමට පෙළ ගැසී සිටින්නේ අතීත කසකරුවො, ගිනිබෝලකරුවො,බෙරකරුවො සහ නලාකරුවො ඇතුළු පෙරැහැරක්.

දැන් මේ ඉක්ම යන්නේ, ඒ පෙරහැර මැද අන්ද මන්ද වි සිටින පෙර කී බරපතල මිනිසුන්ටද ඉතිහාසයක් පුරා තමන් දැරූ දේශපාලන ආස්ථානය පවා අමතකව යන මොහොතක්. වියරු රජ කිරුළෙන් මිදෙන්නට ගෙන යන අරගලයේ ස්වරූප ගැන අපට සංවාද කළ හැකි මුත් ඒ සටන අවතක්සේරු කරන්නට කිසිවකුටවත් හැකියාවක් නැහැ.

එ්ත්.........

දෙමළ මිනිසුන් කඳු ගැසූ ඒ අති ම්ලේඡ්චකර මොහොතේ පවා තමන්ගෙ අචපල දේශපාලන ස්ථාවරය දරපු  අය - අර මං කලින් කිව්ව සාහිත-කලාකරුවන් දෙතුන් දෙනා සහ අලුත් පරපුර වෙනුවෙන් පෙළ ගැසී සිටිනා අයගෙන් කිහිප දෙනෙක් හැරුණම අනිත් සියල්ලන්ම මේ ඒකාධිපතීත්වය නිර්මාණය කරන්නට ඍජුව හා වක්‍රව දායක වෙච්ච අය.  මේ කියන මෛත්‍රීකාරක මිත්‍ර කලාකරුවන් ‘ගාමිණී‘ ‘අබා‘ගෙන් නොනැවතී ඒකාධිපතීත්වය වෙනුවෙන් ‘මාතා‘ පවා අලුතින් අර්ථකතනය කළා. ‘මිනී කන්නන්ගේ දේශය‘ ‘පාරාදීසයක්‘ බවට පෙන්වන කොන්ත්‍රාත් පවා සිදුකෙරුවෙ මෙවුන්මයි.  ‘ අපි වෙනුවෙන් අපි‘ විතරක් නෙමෙයි දුෂ්ඨ ඒකාධිපති මහින්ද රාජපක්ෂගේ ‘තේමා ගීත‘ පවා නිර්මාණය කෙරුවෙ මෙකී කොන්ත්‍රාත්කාර කලාකාරයොම තමයි.
 
තමන් විසින්ම මේ කෘෘර ම්ලේච්ඡත්වය හඳුනාගන්නට අපේ මිත්‍රයන්ට එප්පාවල, හම්බන්තොට සහ කුඹුක්ගැටේ ප්‍රහාර සිදුවන තුරු බලාසිටින්නට සිදුවීම නම් ‘මනුවර්ණ‘ පන්නයේ ට්‍රැජඩියක්.        

දෙමළ මිනිස්සු කඳු ගහලා, රතිඤ්ඤා ඇද බබා, කිරිබත් කකා යුද්ධය දින්නා කියලා කියපු මොහොතේ කිසිම ගෝත්‍රික කමක් නොදැකපු ජයලත් මනෝරත්න හෙවත් මනෝ අයියාට දැන්වත් මේ යන්නෙ ගෝත්‍රික සමාජෙකට යයි කියැවෙන එකෙත් නරකක් නැහැ.  අත්දෙක පිටිපස්සට කරලා බැඳලා දාපු නිර්වස්ත්‍ර දෙමළ මිනිසුසු පේලියට හිටවලා වෙඩිතියලා මරලා දාන හැටි දැක නැති කලාකාරයෙක්  අපේ මිත්‍රයන් අතරෙ ඉන්න පුළුවන්ද? ඒ වැඩේ එහි ගෝත්‍රිකකමක් දැක්කෙ නැත්තෙ, ඒ මැරිලා වැටෙන්නෙ දෙමළ මිනිස්සු හින්දත්, ඔවුන්ට වෙඩි තියන්නෙ රණවිරුවො හින්දත් වෙන්න පුළුවන්. හමුදාවට බාර වෙච්ච බව සාක්ෂි සහිතව දන්න, පුදුවෛ කියන දෙමළ කවියා තාම අත් අඩංගුවේ ඉන්නවද,  නැද්දැයි අහන්නට කිසිම කටක් නෑරෙන්නේ පුදුවෛ ත්‍රස්තවාදියකු ලෙස මිස කලාකරුවකු ලෙස හඳුනගත්ත කිසිවෙක් මේ අතර නැති නිසා වෙන්න පුළුවන්.  

මේ, සියල්ල හොඳට  සම්මිශ්‍රණය වෙමින් තියෙන අනභිභවනීය මොහොත. කොහාම වුණත් මේ වියරු ඒකාධිපතීත්වයට විරුද්ධව බලමුළු ගැන්වෙන මොහොතෙ මගේ  හිතවත්, මිත්‍ර, සුමිත්‍ර, ආදරණීය කලාකරුවන් සියල්ලටම සුබ අලුත් අවුරුද්දක් ලැබිය යුතුයි. ඒ හින්දා එළඹෙන ජනවාරි අටවැනිදායින් නවතින අරගලයකට නෙමෙයි නොනවතින අරගලයකට අවතීර්ණ වන්නට අධිෂ්ඨාන කර ගත යුුතුයි.
  
සියල්ලන්ගේ අවධානය වෙනුවෙන් මම, අර ජවසම්පන්න, අචපල මනුවර්ණ තරුණයාගේ හදවතට මෙහෙම ආමන්ත්‍රණය කරනවා.

‘‘කොල්ලො! මුල්ලිවයික්කලෙදි නැතිවුනු ශිෂ්ඨාචාරෙ යතුර කුඹුක්ගැටේදි හම්බවෙයි කියලා හිතන්න එපා. ඒ හින්දා අඬන්නෙ නැතුව අඛන්ඩව සටන් කරපං.‘‘

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...