Sunday, 4 October 2020

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

 

















1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම පත්තර විකුණන ඒ පත්තර ආයතනය තුළ පවතින මර්දනකාරී සහ පීඩාකාරී පසුබිම හෙළිදරව් කරන්න අපි ලංකාව පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කළා. කුමාරදාස ගිරිබාව සහෝදරයත්, තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයත් මමත් තමයි මූලිකව සහ අඛන්ඩව මේ වැඩේට කරගහමින් වැඩේ පිටිපස්සෙ හිටියෙ.

මෙම රැස්වීම් මාලාවේ මුඛ්‍ය දේශකයො වුණේ නව සම සමාජ පක්ෂයේ නියෝජිතයෙක්,  ජවිපෙ ඒ මොහොතෙ ප්‍රකාශනය වූ ‘ජාතිය ගළවා ගැනීමේ පෙරමුණේ’ නියෝජිතයෙක් සහ ජවිපෙන් ගැළවී පසුව හිරු කණ්ඩායම බවට පත්වූ දේශපාලන කණ්ඩායමේ නියෝජිතයෙක්.  හිරු පත්තරය නියෝජනය කළ කණ්ඩායම වෙනුවෙන් රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා හෝ සිසිර යාපා සහෝදරයා සහභාගි වුණා. නසේ වෙනුවෙන් බොහෝ විට ආවේ එවක හරය පත්තරේ ප්‍රධාන සංස්කාරක වූ නයනානන්ද රත්නායක සහෝදරයා, රනත් කුමාරසිංහ සහෝදරයා හෝ ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා. ජාගපෙ නියෝජනය බොහෝවිට විමලසිරි ගම්ලත් සහෝදරයා විදිහට එදා හැඳින්වුණු විමල් වීරවංශ හෝ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා.

හදිසි හෘදයාබාධයක් නිසා මේ කියන මැතිව් ප්‍රනාන්දු සහෝදරයා හදිසියේ නික්ම ගිය පුවත දැක්කා.

ඔහු අතිශය සුන්දර බරපතල විප්ලවවාදී චරිතයක් විදිහට තමයි දැක ගන්නෙ සහ අඳුන ගන්නෙම. ඔහු අන්තිම ආකර්ශනීය මිනිහෙක්.  අපේ නගරං භාෂාවෙන් කියනවා නම් ‘සුද්දෙක්’ වගේ. දුඹුරුපාට බලල් ඇස් වලින් බලලා ඉතාම සරල විදිහට හිනාවෙන විට ඕනෑම කෙනෙක් ඔහු වෙත බැඳෙනවා.  

අපි ‘විබා’ ලෙස හඳුන්වපු ගම්ලත් සහෝදරයා නොහොත් විමල් තරමක ආඩම්බරකාර චරිතයක් වෙද්දි මැතිව් සහෝදරයා ඒකෙ හාත්පසින් ම අනිත් පැත්ත. අන්තිම නිරහංකාර, නිවුණු බරපතල විප්ලවාදියාගෙ මොඩල් එක. නමුත් වේදිකාව මත කතා කරන්න ගත්තම මැතිව් සහෝදරයා අතිශය ආකර්ෂනීය වේගවත් කතාවන් පැවැත්තුවා.

ඒ කාලෙ කියන්නෙ ජවිපෙ එළියට ඇවිත් ආරිය බුලේගොඩ සහෝදරයාගෙ පාගොඩ නුගේගොඩ ගෙදර අල්ලගෙන, ප්‍රගතිශීලී පෙරමුණ ‘ජගපෙ’ බවට පෙරලගෙන මල්බඳුනෙ දේශපාලනය කරපු අතිශය කාර්යබහුල අවදියක්.  ඒ ක්‍රියාවලියෙ පක්ෂෙ නියෝජනය කරපු ප්‍රධාන ලේකම්වරයා වුණෙත් මැතිව් ප්‍රනාන්දු සහෝදරයා. අතිශය කාරයබහුල දේශපාලන ජීවිතයක් ගත කෙරුවත් අපි රැස්වීමක් පටන් ගන්න වෙලාවක් දාගෙන ඒක දැනුම දුන්නම, වෙලාවට කලින් ඔහු එතන.

ඒ විතරක් නෙමෙයි, අපි ඉස්සර විටින් විට සුප්‍රකට මහජන පුස්තකාලෙ සුප්‍රකට කැන්ටිමේ හමුවුණා. තමන්ගෙම පිළිවලකට ඇඳුම අඳින, කාඩාවැටෙන හිස කෙස්ස පවා වෙනම හැඩයක තිබුණු ඔහු මට හමුවුණු සදා මතකයේ රැඳුණු විප්ලවවාදී මොඩලයක්. ඔහුට උවමනා වුණා මාව ජවිපෙ ඇතුළෙ ස්ථානගත කරන්න. නමුත් ජවිපෙ සහ හිරු බෙදීම ඇතුළෙ මම හිටගත්තෙ භාෂණ සහෝදරයා ප්‍රමුඛ හිරු පත්තරය තුළ ඉතිරිවුණු කණ්ඩායමත් එක්ක. ඒ හින්දා මට ආයෙ මැතිව් සහෝදරයාව ‘දේශපාලනිකව’ මුණගැසුණෙ නෑ.   

මම මැතිව් සහෝදරයව අන්තිමට ඇස්දෙකට දැක්කෙ සහ වචනයක් කතා කෙරුවේ 2000 වසරේ අගෝස්තුවේදී. ඒ, චන්ද්‍රිකාණ්ඩුවේ  ‘සුමනවීර බණ්ඩා’ ඝාතක කල්ලිය විසින් ඝාතනය කෙරුණු චම්මික සුදන්ත සිල්වා සහෝදරයාගේ දේහය රැගත්  කිරුළපන සිට බොරුල්ලට ඇදුණු උද්ගෝෂණ පෙරහැරේදි.

නමුත් ඔහු කෙතරම් මගේ මනසෙ රැඳිලා සිටියාද කිවහොත්,  මගේ ‘දුස්ටකමේ සවුන්දර්ය’ කෙටි කතා පොතේ එන ‘විප්ලවීය කෙට්ටු අතක ස්පර්ෂය’ කියන කතාවෙ ඒ විප්ලවවාදී චරිතය මම නැගුවෙ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා ඔලුවෙ තියාගෙන. කතාවෙ එන චරිතයට අබමල් රොනකවත් සම්බන්දයක් මැතිව් සහෝදරයාගෙ නෑ. නමුත් මගේ හිත තුළ ඔහුට තිබුණු කැමැත්ත හින්දම, ඒ අමාරු වියමන, ඔහු ඉදිරියේ තියාගෙන ගොතන එක පහසු වුණා.

ඔහු පිළිබඳ මතකය පවා පිළිවලයි. ලස්සනයි.

මැතිව් ප්‍රනාන්දු සහෝදරය! සැලියුට් !!!

 

-මංජුල වෙඩිවර්ධන

2020 ඔක්තෝබර් 04

 

Wednesday, 30 September 2020

ඇයි මෙහෙම නිහඬ විල්ලොරවත්ත

 



කඳුළුවල උපත දුක නොවන බව කියන තැන හිටගත්ත

විහිළු නැති සිහින වල විහිළුවම අවුළුපත කරගත්ත

මොරටු ගං දහ අටම නිනදවුණු සිනහවට අරගත්ත

මිතුරු හඬ කොයි වෙද්ද ඇයි මෙහෙම නිහඬ විල්ලොරවත්ත

 

උසුරුවන විට මැවෙන රස ගලන බස  ඇහැට අනී

නමුදු නෙක විහිළු කර අපට පෙර නුඹමැ හිනැහුනී

පරාදීසයෙ දොරින් යළි එක ම එක වරක් පෙනී

ඒ විහිළු විහිළුමද විහිළුවෙන් කියාපන් ටෙනී

 

-      - මංජුල වෙඩිවර්ධන

2020 ඔක්තෝබර් 01

Sunday, 5 July 2020

ඕවන් මහත්තයා ! ඔබට සුබ ගමන්!!


                                                                           ඕවන් වීරක්කොඩි


















මම කැෆේ එකක සුවඳ විඳගනිමින් පත්තරේ දිග ඇර ගත්තා. ෆනෑන්ඩො තරුණයා කෝල් කෙරුවෙ ඒ එක්කමයි.

‘’අයියෙ, පැරිස් වලාකුළු පොතේ යූත් සෙන්ටර් එක ගැන ලියලා තියෙනවා නේද?’’

‘’ඇයි බං, උඹ තාම ඕක කියෙව්වෙ නැද්ද?’’ මං කෝපි උගුරකින් දිව පුච්චගත්තා.

‘’හරි හරි හලෝ...ඊගාවට කියවන්නෙ ඒක’’ ෆනෑන්ඩෝ සුපුරුදු විකාර හිනාවෙන් හිනාවුණා. ‘’මේක මේ වෙන කෙනෙක් අහපු එකක්. ඒකෙ රෝමන් ලොක්කා කියලා ලියලා තියෙන චරිතෙ ඇත්ත චරිතයක්ද?’’

‘’ෆික්ෂන් ඇතුළෙ කොහෙද බං ඇත්ත චරිත?’’

‘’අනේ හලෝ...ඇත්ත කියනවකො?’’

‘’ඔව් ඇත්ත. ඔරිජිනල් චරිතයක් තමයි. ඇයි?’’

‘’කවුද කියනවකො? ඕවන් වීරක්කොඩි කියලා කෙනෙක් නේද?’’

 ‘’උඹ කියන්න ආපු කතාව කියපං’’ මං කිව්වා.

‘’ඔයා ලියලා තියෙන්නෙ එයා ගැනනම්, මේ පනිවිඩේ ඔයාට වැදගත් වෙයි.’’

ෆනෑන්ඩෝ මේ දතකන්නේ මොකක් කියන්නද?

‘’එයා නැති වෙලා.’’

ඇත්තටම මං ඒ ගැන දැනන් හිටියෙ නැහැ. ඕවන් වීරක්කොඩි සහෘදයා නික්ම ගිහින් කියන කතාව දැනගන්න ලැබුණෙ අන්න ඒ විදිහට.

ඔහුට ආදරයටත්, ගෞරවයත්, හුරතලේටත් අපි කිව්වෙ ‘’ඕවන් මහත්තයා’ කියලා.  මට ජීවිතේ මුණගැහිලා තියෙන පුදුම සුන්දර නිලධාරී චරිතයක්.  අතිශයින් දුර්ලභ පන්නයේ  ජීවින භූමිකාවක් ගත කරපු, දුර්ලභ පන්නයේ රාජ්‍ය නිලධාරියෙක්.  ජාතික තරුණ සේවා සභාව, තරුණයන් වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා කියන තර්කනයක් තිබුණට,  ඒක ඇත්තට පෙනී හිටින්නෙ ඒ ඒ ආණ්ඩුවල දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් කියන එක අභ්‍යන්තර ඇත්තක්. නමුත් ඕවන් මහත්තයා ආණ්ඩු වෙනුවෙන් හෝ දේශපාලකයන් වෙනුවෙන් පෙනී හිටපු චරිතයක් නෙමෙයි. ඔහු මාරාන්තිකව හිටගත්තෙ තරුණයන්ගෙ පැත්තෙ.

‘නිස්කෝ වීඩියෝ’ හැදුවෙ ඕවන් මහත්තයා. අද මේ වෙද්දී නිස්කෝ එකේ නිෂ්පාදනයන් වෙච්ච කී දෙනෙක් රූපවාහිනී ආයත ඇතුළෙ වගේම සමාජය ඇතුළෙ ප්‍රවීන චරිත විදිහට ස්ථානගතවෙලා ඉන්නවද. නිස්කෝ ප්‍රධානි භූමිකාවෙ ඉඳන් සංස්කෘතික අංශෙ ප්‍රධානියා වෙනකල් විවිධ භූමිකා නිරූපනය කරපු ඕවන් වීරක්කොඩි අතිශය රැඩිකල් තීන්දු ගත්ත චරිතයක්.  ඇත්තටම තරුණසේවා සභාවෙ සංස්කෘතික අංශෙ හොඳම කාලෙ ඒ කාලෙ වෙන්න ඕනි.  කලාවට කරපු දේශපාලන අතපෙවීම් බිංදුවට ම බස්සන්න ඕවන් මහත්තයාගෙ කොන්දට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, තමන්ගෙ ආත්ම ප්‍රකාශනය විදිහට තරුණයො වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරපු අතිශය දේශපාලනික නාට්ටි බොක්කෙන්ම රසවිඳිමින් බොක්කෙන්ම අගය කෙරුවා.  වේදිකාවේ සොඳුරු ආඥාදායකයා වෙච්ච සුගතපාල ද සිල්වා  නාට්‍ය උළෙලේ ප්‍රධාන තීරක භූමිකාවෙ රඳවගන්න සෘජුවම මැදිහත් වෙච්ච කෙනා තමයි ඔවන් මහත්තයා.  එස්.බී. දිසානායක ඇමතිවරයගෙ අතේ දේශපාලනිකව හුරතල් කෙරුණු ‘තුරුණු ශක්ති’ ලෙසින් නම් කළ යොවුන් වහල් කඳවුරු ඇතුළෙ නාට්‍ය වැඩමුළු පවත්වන්නට අවසර ලබා දුන් ඕවන් වීරක්කොඩි. ඒක අතිශය සවිඥානික තීන්දුවක්.  ඒ වැඩමුළු මෙහෙයවන්නට මාක්ස්වාදී කලාකරුවකු වූ ෂෙල්ටන් පයාගල සහ ඔහුගේ දේශපාලන සනුහරයට ඔහු නිර්භයව අවකාශ සලසා දුන්නා විතරක් නෙමෙයි ඊට එරෙහිව පැනනැඟුණු විරෝධයන් අබියස තමන්ගෙ තීන්දුව වෙනුවෙන් අභීතව පෙනී හිටියා.

ඇත්තටම ඒ කාලෙ තමයි කාලෙ.  ඔහු සමස්ථ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයට පිටස්තරයෙක්. තරුණ සේවා සභාවටත් පිටස්තරයෙක්.  මේ පිටස්තරයට හුඟක් නිලධාරීන් බයයි. ඒ භය නිර්මාණය වෙලා තිබුණෙ ඔහුගෙ නිර්ව්‍යාජ කොන්දේසි විරහිත ජීවන හා වෘත්තීය භාවිතය නිසා.   

සභාවෙ ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඕවන් මහත්තයා කෙරෙහි තිබ්බෙ ගෞරවනීය බය පක්ෂපාතී හැඟීමක්. ඒ වගේම ඒකට ආව ගිය අපි වගේ (ඒ කාලෙ) තරුණයො ඕවන් මහත්තයට ගරු කළා.

ඕවන් වීරක්කොඩි කියන්නෙ ඇත්තටම සුන්දර මිනිහෙක්; ආදරණීය මිනිහෙක්; සරල මිනිහෙක්; සරල තරමටම සංකීර්ණ මිනිහෙක්; සුපිරි රසවතෙක්; ලෝස් නැති පොරක්. කරන්න ඕනි දේ කරන්න සල්ලි අනුමත වෙනකල් බලන් හිටපු නැති ඕවන් මහත්තයා අතින් කයිට් කරන් හරි අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කළා.  මේ ලියන්නෙ අපි දන්න දේ. අපි අත්දැක්ක දේ. ඔහු නිලධාරියෙක් වුණාට මිත්‍රයෙක් වගේ. සහෝදරයෙක් වගේ. මිත්‍රශීලී හා සහෝදරාත්මක වැඩිහිටියෙක් හිටපු තරුණ සේවා සභාවෙ සංස්කෘතික අවකාශය ඇත්තෙන්ම ක්‍රියාකාරී නිර්මාණ වැඩබිමක් වුණා.

ඕවන් මහත්තයා! පමාවී වුණත් ඔබට සුබගමන් කියන්නම්.

ෆනෑන්ඩො තරුණයා වැනි අලුත් පරම්පරා වල මිනිස්සු ඕවන් මහත්තයා ගැන දන්නෙ නැහැ.  ඒ නිසාවෙන්මයි මෙහෙම කෙටියෙන් හරි ඔහු මෙනෙහි කරන්න ඕනි කියලා මං හිතුවෙ   ෆනෑන්ඩො ඇසූ ප්‍රශ්නයට පිළිතුර සම්පූර්ණ වෙන්න මම ‘පැරිස් වලාකුළු’ කෘතිය තුළ ‘රෝමන් මහත්තයා’ ලෙස ස්ථානගත කළ ඕවන් වීරක්කොඩි සහෘදයාට උපහාර වනු පිණිස ‘සබන් බුබුළු සිහින අතර’ මැයෙන් එන එහි පළමු චැප්ටරයෙන් මේ කොටස උපුටනය කරනවා.

‘’ වාසුල නිස්කෝ වීඩියෝ පාසලේ කැමරා ශිල්ප හදාරන සමයේ සිට ම අන්තිම ඇට්ටර කොලුවෙකි. එකල, ජාතික තරුණ සේවා සභාවේ අදාල වීඩියෝ අංශ ප්‍රධානී වූ රෝමන් පීරිස් ලොක්කාගේ කාමරය දෛනිකව ආක්‍රමණය කරන ශිෂ්‍ය සනුහරයේ, පෙරටුගාමී චණ්ඩියා වූයේ වාසුල  ය. වීඩියෝ ගේමක නිරතවන්නා බඳු මේ වීඩියෝ සටන්කාමීහු, යූත් කවුන්සිලයේ කවර හෝ අවුලක් දක්වමින් රෝමන් ලොක්කා හා සමඟ රෝමයක පැටලෙන්නා හ; ඔහුගේ එළු රැවුලේ ද උගුරු දණ්ඩේද එල්ලෙන්නා හ; ඔහු නිදහසේ ගත කරන වෘත්තීය කාලය කා දමන්නා හ. හිමිදිරියේ ම දෙකක් වනා දවස අරඹන රෝමන් ලොක්කා ද, රට පාලනය කළ  ලොක්කීට තියා ලොව පාලනය කළ යකෙකුටවත් බය නැති නිලධාරී ග්‍රහලොවකි.  මෙවන් වීඩියෝ අංකුර අබියස රෝමන් ලොක්කා හැමදාම, රෝමන් පොලොන්ස්කි මෙනි. වාසුලයා ඇතුළු වීඩියෝ බෝම්බ සනුහරය එක්කෝ ඔහුට පෙනුණේ සද්දහයට ටීක් පළන කජුකිරි කොලු රැලක් මෙන් බව මම හොඳාකාරවම දැන සිටියෙමි. එසේත් නැත්නම් වාසුලගේ මූලිකත්වයෙන් යුත් ‘වාසුලි  සනුහරය’ රෝමන් ලොක්කාට පෙනුණේ, හබරල කොළයක් ඉරාගන්නට දත්මිටිකමින් තටම තටමා කලවා ඉවුරු දිගේ සුළුදිය දියසුළි නඟන ඇටිකිති රැලක් මෙනි. බොහෝ විට රෝමන් ද, වාසුල ද ඇර ගනිති. නමුත් අනෙක් පසින් කෙතරම් ඇරගත්තේ වුව වාසුල ඇතුළු සටන් සනුහරය තුළ රෝමන්කාරයා ගැන විශාල ගෞරවයක්ද පැවති බවට කිසිදු සැක සංකාවක් තිබු‍ණේ ද නැත.

ඒ සහස්‍රකයේ එළැඹුම ය. එකල, මා රාජකාරී කළේ මහරගම පමුණුව පාරේ වූ වාරය විකල්ප පත්තරයේ ය. ඉදින් මා දෛනිකව රාජකාරී පිණිස බස් එකෙන් බැස්සේ, මහරගම යූත් කවුන්සිලය අබියසිනි. අතැම් දවසක ඊට ඇතුළුවන්නට සිතුණහොත් ආයෙ දෙපාරක් නො සිතා ම ඇතුළු වෙමි.  මා කලක් බරපතල ලෙස ආදරය කරමින් සිටි, ඒත් අතරමඟදී අත අතෑරී,  මෙසේ පැරිස් වලාකුළක පාවී අවුත්, උල්කාපාතයක් තරම් බර සබන් බුබුලක්ව මා පපුව මත පතබෑවී බිඳී ගිය මේනකා නන්දිනී,  වාසුලයාගේ නිස්කෝ වීඩියෝ සහචරියක වූවා ය. 
මා ඇය මුලින්ම දුටුවේ ‘131’ වැල්ලම්පිටිය-මහරගම බස් රථයක් තුළ චණ්ඩි කතා කියමින් රණ්ඩුවක පැටළුණු විශ්මිත විසේකාර කෙල්ලක ලෙසිනි.  කොට කොට යන එකසිය තිස්එකට ඇය මීතොටමුල්ලෙන් ගොඩවෙනු මා බලාගෙන ය. ඇය රියදුරාට කොක්ක දමන්නට පටන් ගත්තේ නාරහේන්පිට හන්දිය පසුවනවාත් එක්ක ය. අප ගමන් ගත් එකසිය තිස්එක වෙනත් එකසිය තිස් එකක් හා රේස් යන්නට පටන් ගත් පසුව ය. මරු කැඳවිය හැකි බස් රේස් ගැන ඈ නිර්භයව අගේ අදහස කිව්වා ය; වාද විවාද කළා ය.
එකසිය තිස් එක පමණක් නොව, එකසිය තිස් හතර, එකසිය හතළිහ, එකසිය පනස් පහ, එකසිය හැටඑක, එකසිය හැටහය ඈ වූ ලදරං පුද්ගලික බස් රථ කුලකයේ කොට කොට යාම, රේස් යාම බඳු ඊටම ආවේනික ලක්ෂණ ගැන විශේෂාංග ලිපියක් ලියා ඒ ගැන මනාව තේරුම් ගෙන සිටි මා කිසිදාක එවන් කොකු ඇදගෙන නැතත්, මේ මුරණ්ඩු කෙල්ල ඇදගත් කොක්කට මැදිහත් වන්නට මට බල කෙරුණේ  කොන්දොස්තරවරයාගේ නොහොඹිනා ‘ස්ත්‍රී නින්දා’ වචන හින්දා ය. වැල්ලම්පිටියෙන් හැමදාම බස් රථයට ගොඩවෙන මා කවුදැයි දැන සිටි බස්රථ වෘත්තිකයන් දෙදෙනා වචන අකුලා ගත්තේ චණ්ඩි කෙල්ලගෙන් සමාව අයැදිමිනි. අවසානයේ අප දෙදෙන එකම නැවතුම් පොළකින් බැස යන මඟීන් දෙදෙනකු බව දෙදෙනාම දැනගත්තේ බස් රථෙන් බසින කල ම ය. සිය සටනට දුන් සහය ගැන මට ස්තූතිවන්ත වූ ලමිස්සී, මේනකා නන්දිනී තරුණ සේවා සභාවේ ගේට්ටුවෙන් ඇතුළු වී සැඟවී ගියා ය.
ඇය නිස්කෝ ශිෂ්‍යාවක බව මා දැනගත්තේ මගේ නිහඬ ලුහුබැදිල්ල අතර ය.  
බරපතල කියවන්නියක හා පිචෑර් පිස්සියක වූ ඈ හා සමාගමයක් අරඹන්නට ඕනෑ තරම් ප්‍රවේශ ඇති බව තේරුම් ගන්නට වැඩි මහන්සියක් දැරිය යුතු වූයේ නැත.
රෝමන් ලොක්කා මගේ අතිශය සමීප හිතවතෙකු විය.  රෝමන් ලොක්කාගේ අදහස වූයේ ශිෂ්‍ය සනුහරය තුළ සිටි යථාර්ථ ග්‍රහණයෙහි අතිශයින් සමත් කම් ඇත්තී මේනකා නන්දිනී බව යි.  පැවරුම් නිර්මාණ වලදී ඇය ඇසට පෙනෙන නොපෙනෙන සත්‍යය මිරිකා උකහා ගන්නට පෙන්වන සමත්කම් ගැන සෙසු ශිෂ්‍ය සනුහරය ද දන්නා බව රෝමන් ලොක්කා කීවේ අතිශය ආඩම්බරකින් මෙනි. ‘’බුලට් එකක්’’ ඔහු කීවේ ය. ඔහු උදාහරණය පිණිස අරගත්තේ ඇය, මහරගම දින පොළ ගැන සිදුකළ විනාඩි පහේ වාර්තා චිත්‍රපටියයි.  මම, උදෑසන රෝමන් ලොක්කා සමඟ වඩයක් හපන්නට සිතුණ සෙයියාවෙන්, නිස්කෝ වීඩියෝ වපසරියට පිවිසෙන යටිබිම්ගත කතාව මේනකා නන්දනී පමණක් නොව වාසුලයා පවා දැනගත්තේ පසුකලෙක ය.
‘’යූත් එකේ ගතිම ගති තැන, රෝමන් මහත්තයගෙ සිනමා අසපුව තමයි’’ වාසුල  නිතර නිතර මැතිරූ උදාන වාක්‍යයකි. ඇත්ත ය. යූත් කවුන්සිලයේ සුන්දරම අවකාශය  එතැන බව මම ද එකෙන් ම පිළිගනිමි.  එනම් රෝමන් ලොක්කගේ සංසාර කුටිය ය; සිනමා අසපුව ය. ඔහු එතැන ශක්‍රයා මෙනි.  චිත්‍රපටි බලයි‍; අඩියක් ගසයි; වඩයක් හපයි; කලාවට හිනැහෙයි; සංස්කෘතිය කළඹයි; අදාල අනදාල කතන්දර කියයි; ආණ්ඩුවට බනියි; රැජනගේ රෙදි ගලවයි; විටින් විට මැන්ඩියෙන් හිට ගනියි; හිටිවන කවි කියයි.  මේ සියලු කියුම් කෙරුම් අතර සංයමය රැක ගනිමින්, දරුණු සිංහල වචන කියන්නට අමතක නොකරයි.  ඒ එවන් දෙඩවුම්බර උදයකි. 
ඒ ‘රැජන’ රජ වූ යුගය වූයෙන් වාසුල සනුහරය රෝමන් ලොක්කාගේ සිනමා  අසපුවට ආවේ ඒලියන් ඒජන්තවරු රෑණක් මෙන් ලාබ මේකප් දමාගෙන ය. වාසුල  හැසිරුණේ ‘රැජන’ වටේ කැරකෙන සයිමන් නවගත්තේගම මෙනි. ආජටාකාශ යානයක් තුළ වුව සයිමන් කෙරෙන් මතුව ආයේ යසලාලකතිස්සගේ දසබලධාරී විසකුරු මිදියුෂ බැල්ම ය. සෙසු ඇටිකිති නිස්කෝ වීඩියෝ නළුවන් කෙරෙන් රවීන්ද්‍ර රන්දෙනියගේ, ඩබ්ලියු ජයසිරිගේ, වසන්ත විට්ටච්චිගේ, ගාමිනී ජයලත්ගේ, රොෂාන් පිලපිටියගේ මුහුණු ද, ගමනද, ඇක්ටින්ද මතුවූයෙන්, හිනා නවතාගන්නට බැරි විය. මේනකා නන්දිනී, දන්න හඳුනන අජටාකාශගාමීන් මැද ගීතා කාන්ති මෙන් මුගලන්වනින් බැබැළෙමින් සිටියා ය. මුලදී ඔවුන් කතා කළේ ද ටෙලි නළුවේ අජටාකාශ බසින් සහ එහි සිල්ලර රිද්මයෙනි. අනතුරුව ආ ප්‍රශ්න කිරීම් සිංහලට හැරෙමින් තිබිණ.
වාදය ’රැජන’ ගැන ය.  මෙතරම් තරුණ ප්‍රශ්න ඇති සමයෙක ‘චන්ද්‍රිකා පුම්බා උඩ අරින ව්‍යාපෘතියකට තරුණයන් වෙනුවෙන් වෙන්විය මුදලින්, ලක්ෂ අටසීයක් දෙන්නට තරුණ සේවා සභාවට හැකි වන්නේ කෙසේද යන්න සභාවේ ඇත්ත අයිතිකරුවෝ තමන් යැයි විශ්වාස කරමින් සිටි තරුණයෝ ප්‍රශ්න කළ හ. 
‘’ඒ සල්ලි දුන්නේ අපි නෙමේ දරුවනේ. ඒක යූත් කවුන්සිල් එකට සම්බන්ධයක් නෑ’’ ඇතැම් විට නොහොබිනා ලෙස  සිනමා අසපුව දෙක වෙන්නට මොර දුන්නත් රෝමන් ලොක්කා හඬ පාලනයෙහි අති දක්ෂයක් බව මම දැන සිටියෙමි. ‘’මට මතක හැටියට ඔය සල්ලි දීලා තියෙන්නෙ ‘ සීමාසහිත තරුණ සේවා නැටුම් සහ සංගීත සමාගම’ කියන සීමාසහිත ආයතනය. ඒක තරුණ සේවා සභාව නෙමෙයි පුතා’’ යැයි ඔහු පැවසුයේ, කරටි කැඩෙන්න ගසා ඇස් වැසුණු විට ඇතිවන අතිමහත් සංයමයෙනි. 
වාසුල ද, මේනකා නන්දිනී ද සෙසු ‘වාසුලි’ කොලු කෙල්ලන් ද හිනැහුණේ අන්තිම අජූත ලෙස ය. වාසුල, රෝමන් ලොක්කා අබියසටම පැමිණියේ ආජටාකාශ නර්ථන සෙයියාවෙන් ම ය. ‘’සීමාසහිත තරුණ සේවා නැටුම් සහ සංගීත සමාගම?’’ ඔහු හිනාවුණේ අජටාකාශගාමියකු මෙන් ‘එකෝ’ නඟමිනි.  ‘’අපි නොදන්න ආයතන. කොහෙද ඕක තියෙන්නෙ? මොකද්ද එඩ්ඩ්‍රස් ඒක?’ වාසුල  ප්‍රශ්න කළේ සඳගාමී නර්ථන ලීලායෙනි.
යශෝධාවන්ගේ සරාගී, සිහිනමය දෑසෙහි වන නිද්‍රාශීලී බැල්මකට හසුවන්නට ඇති ලාලසාව නිසා මා එකල සති අන්තයේ අත් නොහැර රැජන බැලුවද, අටසීය ලක්ෂයේ  කතාව හෝ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම් ගැන හාන්කවිසියක්වත් දැන සිටියේ නැත. සුමන‍ෙ බණ්ඩාර ඇමතිවරයා දේශපාලන ඉන්ද්‍රජාල ව්‍යාපෘති මැවුම්කරුවකු බව මා ඉන්තේරුවෙන් දැන සිටියද රැජන මැවුම්කරුවා ව්‍යාපෘතිවාදී නිර්මාණකරුවකු බව ඒ සමයෙහි මට සිතා ගන්නට බැරි විය. වෙදහාමිනේ බලා රෙබේකාට ආදරය කරමින් බේත් වංගෙඩි හෙවූ පිරිමි පරපුරක මෝල්ගස් අතරට, දඬුබස්නාමානය බලා දමිතා සමඟ අංගම්පොර අල්ලන්නට අතපය අඹරමින් සිටි පිරිමි පරපුරක ‘තෙත සිහින’ අතරට, එවන් සුන්දර ගැටවරියක වූ යශෝධා රැගෙන ආ දිවයින පත්තරකාරයා මහා මැවුම්කරුවකු මෙන් වීම ඇතුළත අභ්‍යන්තර තර්කණයක් තිබිණ.  මා ද ව්‍යුත්පන්නව සිටියේ එකී පරපුරේ ම නොවන්නේ ද? මහරගම ඇතිවූ, රෝමන්-වාසුල  ‘රජ්ජනාවාදයේදී’ නො කියැවුණු සියල්ල පසුකලෙක මට මුළුමනින්ම පැහැදිලි කෙරුණේ ද වාසුල විසිනි.
ඇපලෝව බඳු විසල් පන්දමක් පත්තුකරගත් හැන්දෑවක, ඌ කැමැත්තෙන්ම ඩබ්ලිව් ජයසිරි බවට පත්විය.  මගේ අකමැත්ත නොසළකා ඌ මා රවීන්ද්‍ර  රන්දෙණිය බවට පත්කර හයිලෙවල් පාර දිගේ පීරිසියක් බඳුව පාවි පාවී ආ කුමක්දෝ අභ්‍යාවකාශය යානයක් තුළට තල්ලුකර ගත්තේ ය.
ඌ ජයසිරි - හෝර්ම! මා ඔබේ දෙවැනියා. ඔබේ අණ පිළිපදින්න මාත් බැඳී සිටිනවා.නමුත් මම ඔබේ හොඳ මිත්‍රයා. 
මා රන්දෙණිය - ඔව් මගේ හොඳ මිත්‍රයා, මොකද්ද ඔබේ ප්‍රශ්නය?
ජයසිරි - අපගේ තරංග පරීක්ෂක යන්ත්‍රවලටත් හඳුනාගත නොහැකි සුවිශේෂ තරංග විශේෂයක් ඔබට බලපා තිබෙන බව පේනවා. හැමෝම ඉන්නෙ ඒ ගැන බයෙන්.
මා රන්දෙණිය - මේ බලන්න, මගේ සිරුර. මගේ එහෙම විශේෂත්වයක් පෙනෙනවද?
ඉනික්බිති වාසුල නාට්ටියේ නැති නාට්‍ය දෙබස් කියමින් තනියම නාට්ටිය රඟ දක්වන්නට විය. ස්ටැනිස්ලොව්ස්කිට පවා මඟහැරී තිබුණු වාසුල රංග රීතිය සූස්ති දුම ඉස්පොල්ලේ යන තරමට සංවර වෙමින් තිබිණ.
රජ්ජනාවාදයෙන් නිස්කෝ ලොක්කා වූ රෝමන්වරයා පැහැදිලිවම ඇන ගත් බව කිව යුතු ය.  ජනකවියකු බඳු සරල හිත හොඳ මිනිසකු වූ ඔහු ඇතැම්විට අවශ්‍යයෙන්ම පරාජය බාර ගත්තා වන්නට ද පිළිවන. තරුණ සනුහරය නික්ම ගිය පසු කටකපා, පිටි අත්ලෙන් කට පිහදා, කටගැස්මෙහි කොණක් හපා තනියම මුමුණන්නට පටන්ගත් රෝමනුවා හෙමින් මා දෙසට හැරුණද, ටෙලි නළුව ගැන කිසිවක් මා සමඟ කතා කළේ නැත.  රෝමනුවා කතා කළේ වාසුලයා ගැන ය.
‘‘සාරා, ඔය ඇට්ටර ගැහුණු පොඩි එකා හරිම මැජක්කාරයෙක්. ඕකට කැමරාවට ඇහැ තිබ්බම අපිට නොපෙනෙන හුඟක් දේවල් පේනවා. ඌ කවදහරි ඉන්ද්‍රජාල කැමරාකාරයෙක් වෙනවා.  ඌට අතක් දෙන්න අතක් ලැබුණොත් අතාරින්න එපා සාරා. උගේ ඉන්ද්‍රජාල ඇහැ, හරියාකාර ලයින් එකේ තියාගන්න උඹ වගේ එකෙක්ට පුළුවන් සාරා. ඩස්ප යකෙක්ට ඕකා අහුවුණොත්....අපරාදෙ...පව්...
ඔහු වාසුල ගැන කියන්නට උදාහණයට ගත්තේ, මේනකා නන්දිනි ගැන කියන්නට උදාහරණයට ගත් මහරගම දින පොළ ම ය.  ‘’ඔහොම වාඩි වෙයන් සාරත්‍ර’’ ඔහු නිල කුටියේ අගුල දැමී ය.  ‘’මේක තරමක් නිල නොවන වැඩක්. ඒත් මේක උඹ බලන්න ඕනි. ‘’ ඔහු කීයේ රූපවාහිනී තිරයත්, සීඩී යන්ත්‍රයත් ක්‍රියාකරවන ගමන් ය. ‘’බලපන් මේකෙ වෙළෙන්දො අතර ඉන්නෙ කවුද කියලා. දන්න චරිත. ඔලුව මඤ්ඤං වෙනවා සාරා මේක බැලුවම. උඹ හොඳටම දන්න චරිතයකුත් ඉන්නවා’’ ඔහු කැත සිනාවක් දමා දෙකක් වනාගෙන සැටි පුටුවේ ඉඳ ගත්තේ ය. රෝමන් ලොක්කා කී දේ හරි ය. වාසුල නිමවූ විනාඩි පහේ වාර්තා චිත්‍රපටියේ, ත්‍රී රෝද ගාල අබියස කඩල විකුණන්නේ මහරගම උප නගරාධිපති ය; පේලි කඩයක ජංගි විකුණන්නී තවත් මන්ත්‍රීවරියකි; ඊට අල්ලපු ලෑලි බක්කියේ තොප්පි විකුණන්නේ ඇගේ සැමියා ය; දිනපොලේ කරවල විකුණන්නේ මහරගම පොලීසියේ අපරාධ අංශයේ ලොක්කා ය.  සරුවත් විකුණමින් සිටින්නේ කවුද? මා වැඩ කරමින් සිටි පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා ය. නමුත් සැබැවින් ම නම් ඒ කිසිවෙක් මහරගම පොළට සම්බන්ධ වූවන් නොවේ. වගකිවයුතු තනතුරු දරන වැදගත් පුද්ගල චරිත ය.
‘’ඇයි එහෙම වෙලා තියෙන්නෙ?’’ මම රෝමන් ලොක්කාගෙන් ඇහුවෙමි.
‘’මැජික්. එච්චරයි දැනට දෙන්න පුළුවන් උත්තරය. මැජික්.’’ ඔහු හිනාවුණේ සෝඩා බෝතලයක් ඇරියා බඳුව ය; බුබුළු නඟමිනි. ‘’
(පැරිස් වලාකුළු පිටු අංක 10-17)




Wednesday, 1 July 2020

ආදරෙයි දුවන රැවුල සේ...


                                                                        photo © Ravindra Pushpakumara
















මගේ සිහිනය මගේ ඇස මත ඔබයි ඇන්දේ
සදාකාලික ළමා ලෝකය ඔබෙයි නැන්දේ !!!

ආදරෙයි
දුවන රැවුල සේ...

-2020 ජූලි 01

Friday, 22 May 2020

ඉතින් කැටුව ආවෙද ඔබ කෝමළනි



























ඔබ, කවිය අත්හරින්නට තීන්දු කළ දා, ලොකු අයියේ මම ඔබට මෙසේ ලීවෙමි.

''පපුව තියෙන තැන මම දන්නෙමි තාම
සපථ කරන්නෙමි කවෙකිනි ඉඳුරාම
උපැස විනිවිදිමි මඳහස උදෙසාම
මෙකව මෙතැන නවතන්නට දෙමි කෝම?''

ඉදින් අපි විටින් විට කතා කළෙමු. 

රිදෙන හදවත විසින් ලියැවෙන යමක් වේ නම් ඔබ හැම නිතරම මට ඊ ලියමනකින් එය එව්වේ ය. පළ කිරීමේ උකටලී බවට එරහිව මම ආදරබර සන්ඩු සරුවල් දියත් කළෙමි. මගේ නො හික්මුණු කෑ කෝ ගැසීම් ඉදිරියේ මට පෙනුණේ ඔබේ ඒ හික්මුණු ගැඹුරුතර මඳහස ය.

මම දැන් අලුත් පොත කියවමින් සිටිමි. 

 කවක් කවක් පාසා ඇසෙන්නේ, ඔබ සන්සුන් ම හිනාවකින් විඳ දරා ගන්නා ‘නිහඬතාවයේ හඬ’ ය. රිදවෙන්නේ මා තුළ වන ‘වේදනා සදන තැන’ ය.

ඉදින් ලොකු අයියේ මම මේ මොහොතේ මගේ ආදරය සනිටුහන් කරලන්නට ‘රයිෆලයට තවත් පතුරමක් ඔබමි’.

''හිතින් සළු ලිහමි ගඟබඩ ආදරෙනි
නිතින් පෙනෙයි ගඟ වක්වනු මා තුළිනි
සඳුන් සුවඳ පැදි මැද පෙම විහිදමිනි
ඉතින් කැටුව ආවෙද ඔබ කෝමළනි''

2020 මැයි 22

Wednesday, 6 May 2020

ජෝන් පියේර්


























ජොන්-පියේර්

බලා සිටියා ද ඔබ
ජොන්-පියේර්
භයංකර හුදෙකලා සමය එනතුරු ම
අපි අපිදු ගුහා ගත වන තුරා
නික්ම යන්නට මෙලෙස‍ෙ
නිහඬව ම....

අපේ කුදුබව නිතර
හදවතට කියා දෙන
මේ මහා කඳු අතර
ඔබේ කටහඬ යලිඳු
නින්නාද නැඟෙන්නෙ ම නැද්ද?

ඉදින් අපි මෙ සන්සුන් වැව ඉවුරෙ
යළි කිසිම දවසක
මුණ ගැහෙන්නම නැද්ද?

අහිමිවුණු හංසයා
මෙ වැව් දිය මතු දිනෙක 
දකින්නට ලැබෙන්නෙ ම නැද්ද?

2020 මැයි 06

Monday, 6 April 2020

බල්සාක්මය මඳහස

පැරිසියේ ‘පෙර් ලෂේස්’ හෝන්පලෙහි වන ‘ඔනොරෙ ද බල්සාක්’ ථූපය
© Manjula Wediwardena











විදර්ශන කන්නංගර සහෝදරයා ගෙවුණු ගිම්හානයේ  දින කිහිපයකට පැරීසියට ආවා. ඒ ගිම්හානයේ මං බොහෝ විට හිටියෙ ඉතාලියෙ. වෘත්තීමය කටයුත්තක හිරවෙලා. ඒ හේතුවෙන් මට විදර්ශන සහෝදරයා හම්බවෙන්න බැරිවුණා. එහෙම තමයි දේවල් වෙන්නෙ.

නමුත් පුළුවන් හැම අපි-අපි  සන්නිවේදනය කරගත්තා. ඒ විදර්ශනාමය පැරීසී සැරියේ එක දවසක ‘පේර්-ලෂෙස්’ කැරකොප්පුවට යන සැලසුමක් විදර්ශනට තිබුණා.  මං කිව්වා එතන්ට යනව නම් ‘බල්සාක් ථූපය’ අබියසටත් යන්න බලන්න කියලා. එහෙම කියලා, බල්සාක් ථූපය අබියස මා තුළ හටගැනුණු කවිය විදර්ශනට ඊ ලියමනක අමුණා යැව්වා. ඒ කවිය එන්නෙ මගේ ‘පිටුවහල් පිටු’ කෘතියේ. ‘ඒ ගැඹුරු මඳහස’ මැයෙන් එන ඒ කවිය මෙහෙමයි.

මානව ප්‍රහසනය
දෙ තොල මත ඇඳ පෙන්වන
බල්සාක්මය මඳහස…..

පිටතට ඇරුණු ඇස් මත
ඇතුළත අඳුර පෙන්වන
බල්සාක්මය මඳහස……

වේදනාවේ පතුළත
කඳුළු නැති බව පෙන්වන
බල්සාක්මය මඳහස…..

කඳු ගැහුණු පොත් මැද
සැහැල්ලුව පෙන්වන
බල්සාක්මය මඳහස…..

මඳහසක අර්ථය
මඳහස නොවන බව පෙන්වන
බල්සාක්මය මඳහස….

‘බල්සාක් ථූපය’ ස්ථානගත වෙලා තියෙන මේ කැරකෝප්පුව ගමක් වගේ; නගරක් වගේ; රටක් වගේ කියලා හිතන්නත් බැරි කමක් නෑ. ඇත්තටම ‘පේර්-ලෂෙස්’ කැරකොප්පුව කියන්නෙ ගමක්, රටක්, නගරයක් ම නෙමෙයි, වෙනම ලෝකයක්. අවම වශයෙන් ජීවතේ එකවතාවක් වත් මෙන්න මේ පැරීසි කනත්තෙ අතරමං වෙන්න ඕනි. 

මම මුලින්ම මේ අරුම අවකාශයට පය තිබ්බෙ තනියම. මේක මෙහෙම තැනක් කියලා දැනගෙන නෙමෙයි.  දන්න කියන හුඟදෙනෙක් සදාතනික නිද්‍රාවෙ ගැලිලා හිටියත් මට යන්න ඕනි වුණේ ‘බල්සාක් ථූපය’ දැක ගන්න.
කනත්තක් කියන වපසරියෙ චිත්‍රය මගේ ඔලුවෙ සටහන් වෙලා තියෙන්නෙ මූලිකවම ගල්කිස්ස කනත්තෙ. අම්මගෙ, අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගේ ආච්චියි සීයයි දෙන්නා ම ඉන්නෙ එතන. දෙවැනුව කොහුවල කනත්ත. තාත්තගෙ අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගේ අනිත් ආච්චියි සීයයි දෙන්නම ඉන්නෙ එතන.  කැරකොප්පුවක තියෙන සන්සුන් කැටයම් විඳගත්ත තැන තමයි බොරැල්ල කනත්ත. බොරැල්ල තමයි කනත්තක් විශාලනය කරන්න පුළුවන් උපරිමය විදිහට ඔලුව ඇතුළෙ තියෙන්නෙ.

මම පැරිසියට ආ සන්දියෙ හිටියෙ ‘ජනමාධ්‍යවේදීන්ගේ නිවහන’ කියන තීරු බිල්ඩිමේ සිව්වැනි මහලේ කුඩා කාමරයක. කාමරයෙ ජනේලෙ ඇරෙන්නෙ කුඩා රමනීය කනත්තකට. පැරීසි කනතු ඔලුව ඇතුළෙ සටහන් වෙන්න ගන්න මේ කුඩා කනත්ත එක්ක. මම බල්සාක් බලන්න ගියෙත් මං දන්න කියන මෙවැනි කනතු මතක එක්ක.  

නමුත් ‘පේර්-ලෂේස්’ කියන්නෙ වෙනම ලෝකයක්. 

ඒ තුළ නිදන ‘චරිත’ හොයාගන්න කැරකොප්පු පිවිසුම පසෙක තියෙන මැප් එක වටේ සැරිසරන මිනිස්සු වටවෙලා. මමත් කොහොම හරි පුවරුවට ළංවෙලා ගමන් මඟ සටහන් කරගත්තා. ඒක, අතරමං වෙන්න බල කෙරෙන අතරමං නොවුණු  ගමනක්. 

තැන හොයා ගත්තා. ඔහු ඉන්නවා. මම ඔහු අබියස හිටියා. තවත් බල්සාක් ලෝලීන් එනවා. යනවා. මම ටිකක් වෙලා හිටියා. කලින් දැනුම් නොදුන්නා සේ මෙන්න එකපාරම හුළඟක් ඇවිත් ගස් ඇඹරෙන්න ගත්තා. නාඳුනන සොහොන් කොත් මැද රැඳුණු හදවත නාඳුනන හැඟුම් මැද සරන්න ගත්තා.  නො සැලෙන සොහොන් කොත් මැද හිටි සිත සැලෙන්න ගනිද්දිම වගේ ‘මානව චර්යාව’ ගැන - මං ගැන-   දන්න හඳුනන ඒ චරිතෙ - බල්සාක් - මං දිහා බලන් හිටියා.  ‘මානව ප්‍රහසනය’ ඒ තරම් බරපතල විදිහට දැනෙන්න ගත්තෙ ඒ සරල අහම්බ වැස්ස වැටුණු වෙලාවෙ. ‘බල්සාක් ථූපයෙ’ ඔහුගෙ දෙතොලෙ තියෙන ඇහැට පෙනෙන, පෙනෙන තරමටම නොපෙනෙන ඒ ගැඹුරු මඳහස මම දැක්කෙ අන්න ඒ පැරීසි වර්ෂාව වැටුණු මොහොතෙ.

ඒ මඳහස මත පදනම්වැ මා ලියූ කවිය විදර්ශන සහෝදරයා බල්සාක් ථූපය අබියසට අරන් ගිහින් තිබුණා.  ඔහු ඒ ගැන මෙනෙහි කරමින් තැබූ ‘ෆේස් බුක්’ සටහන අවසන් කර තිබුණේ මෙන්න මෙහෙම.  

‘’ඒ සොහොන් බිම වෙඩ්ඩා නම් කරන්නේ 'බල්සාක් ථූපය' නම් වූ තිගැස්සෙන යෙදුමෙන්.  ඊ මේල් හරහා වෙඩ්ඩා එවා තිබූ එ'කව ඒ නිහඬ නිසසල සොහොන් බිමෙහි, ඒ ගුප්ත පිළිම වත දිහා බලාගෙන කියවපු සන්ධ්‍යාව ජීවිතයේ කිසි දිනක අමතක නො වන ඇඟ හිරිවැටෙන මතකයක්. ඒ සැඟවුණු සදය සිනහව අපට මුණගැහෙන්නේ බල්සාක්ගේ මුව දෙස බලාගෙන එ'කව කියවද්දියි. හරියටම කිව්වොත් ඒ පිළිම වතෙහි පෙනෙන-නො පෙනෙන සිනහව අඳින්න ඇත්තෙ වෙඩ්ඩාම විය යුතුයි..
අහෝ,මරණයන් පණගැගෙන යායක බල්සාක්ගේ ‘මානව ප්‍රහසනය’ (Human Comedy)..!’’

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...