Thursday, 1 January 2015

මනුවර්ණ








"ඇත්ත හොයා ගන්නට නම් අවම වශයෙන් සමාජයක් වශයෙන් තර්ක කිරීමට අප පුරුදු පුහුණුවිය යුතුය." (මගේ ආදරණීය යක්ෂණී 276 පිට.)
රැල්ල ඇති කරන්නට වෙර දුන් බරපතල කලාකරුවන් අතලොස්ස අඛන්ඩව තම නිර්මාණාත්මක ශ්‍රමය ඒ වෙනුවෙන් නිර්ලෝභීව විය පැහැදම් කළා. නමුත් දැන් ඒ නැගැ එන රැල්ලෙන් ‘පශ්චත්තාපය‘ සෝදා ගැනීමට පෙළ ගැසී සිටින්නේ අතීත කසකරුවො, ගිනිබෝලකරුවො,බෙරකරුවො සහ නලාකරුවො ඇතුළු පෙරැහැරක්.

දැන් මේ ඉක්ම යන්නේ, ඒ පෙරහැර මැද අන්ද මන්ද වි සිටින පෙර කී බරපතල මිනිසුන්ටද ඉතිහාසයක් පුරා තමන් දැරූ දේශපාලන ආස්ථානය පවා අමතකව යන මොහොතක්. වියරු රජ කිරුළෙන් මිදෙන්නට ගෙන යන අරගලයේ ස්වරූප ගැන අපට සංවාද කළ හැකි මුත් ඒ සටන අවතක්සේරු කරන්නට කිසිවකුටවත් හැකියාවක් නැහැ.

එ්ත්.........

දෙමළ මිනිසුන් කඳු ගැසූ ඒ අති ම්ලේඡ්චකර මොහොතේ පවා තමන්ගෙ අචපල දේශපාලන ස්ථාවරය දරපු  අය - අර මං කලින් කිව්ව සාහිත-කලාකරුවන් දෙතුන් දෙනා සහ අලුත් පරපුර වෙනුවෙන් පෙළ ගැසී සිටිනා අයගෙන් කිහිප දෙනෙක් හැරුණම අනිත් සියල්ලන්ම මේ ඒකාධිපතීත්වය නිර්මාණය කරන්නට ඍජුව හා වක්‍රව දායක වෙච්ච අය.  මේ කියන මෛත්‍රීකාරක මිත්‍ර කලාකරුවන් ‘ගාමිණී‘ ‘අබා‘ගෙන් නොනැවතී ඒකාධිපතීත්වය වෙනුවෙන් ‘මාතා‘ පවා අලුතින් අර්ථකතනය කළා. ‘මිනී කන්නන්ගේ දේශය‘ ‘පාරාදීසයක්‘ බවට පෙන්වන කොන්ත්‍රාත් පවා සිදුකෙරුවෙ මෙවුන්මයි.  ‘ අපි වෙනුවෙන් අපි‘ විතරක් නෙමෙයි දුෂ්ඨ ඒකාධිපති මහින්ද රාජපක්ෂගේ ‘තේමා ගීත‘ පවා නිර්මාණය කෙරුවෙ මෙකී කොන්ත්‍රාත්කාර කලාකාරයොම තමයි.
 
තමන් විසින්ම මේ කෘෘර ම්ලේච්ඡත්වය හඳුනාගන්නට අපේ මිත්‍රයන්ට එප්පාවල, හම්බන්තොට සහ කුඹුක්ගැටේ ප්‍රහාර සිදුවන තුරු බලාසිටින්නට සිදුවීම නම් ‘මනුවර්ණ‘ පන්නයේ ට්‍රැජඩියක්.        

දෙමළ මිනිස්සු කඳු ගහලා, රතිඤ්ඤා ඇද බබා, කිරිබත් කකා යුද්ධය දින්නා කියලා කියපු මොහොතේ කිසිම ගෝත්‍රික කමක් නොදැකපු ජයලත් මනෝරත්න හෙවත් මනෝ අයියාට දැන්වත් මේ යන්නෙ ගෝත්‍රික සමාජෙකට යයි කියැවෙන එකෙත් නරකක් නැහැ.  අත්දෙක පිටිපස්සට කරලා බැඳලා දාපු නිර්වස්ත්‍ර දෙමළ මිනිසුසු පේලියට හිටවලා වෙඩිතියලා මරලා දාන හැටි දැක නැති කලාකාරයෙක්  අපේ මිත්‍රයන් අතරෙ ඉන්න පුළුවන්ද? ඒ වැඩේ එහි ගෝත්‍රිකකමක් දැක්කෙ නැත්තෙ, ඒ මැරිලා වැටෙන්නෙ දෙමළ මිනිස්සු හින්දත්, ඔවුන්ට වෙඩි තියන්නෙ රණවිරුවො හින්දත් වෙන්න පුළුවන්. හමුදාවට බාර වෙච්ච බව සාක්ෂි සහිතව දන්න, පුදුවෛ කියන දෙමළ කවියා තාම අත් අඩංගුවේ ඉන්නවද,  නැද්දැයි අහන්නට කිසිම කටක් නෑරෙන්නේ පුදුවෛ ත්‍රස්තවාදියකු ලෙස මිස කලාකරුවකු ලෙස හඳුනගත්ත කිසිවෙක් මේ අතර නැති නිසා වෙන්න පුළුවන්.  

මේ, සියල්ල හොඳට  සම්මිශ්‍රණය වෙමින් තියෙන අනභිභවනීය මොහොත. කොහාම වුණත් මේ වියරු ඒකාධිපතීත්වයට විරුද්ධව බලමුළු ගැන්වෙන මොහොතෙ මගේ  හිතවත්, මිත්‍ර, සුමිත්‍ර, ආදරණීය කලාකරුවන් සියල්ලටම සුබ අලුත් අවුරුද්දක් ලැබිය යුතුයි. ඒ හින්දා එළඹෙන ජනවාරි අටවැනිදායින් නවතින අරගලයකට නෙමෙයි නොනවතින අරගලයකට අවතීර්ණ වන්නට අධිෂ්ඨාන කර ගත යුුතුයි.
  
සියල්ලන්ගේ අවධානය වෙනුවෙන් මම, අර ජවසම්පන්න, අචපල මනුවර්ණ තරුණයාගේ හදවතට මෙහෙම ආමන්ත්‍රණය කරනවා.

‘‘කොල්ලො! මුල්ලිවයික්කලෙදි නැතිවුනු ශිෂ්ඨාචාරෙ යතුර කුඹුක්ගැටේදි හම්බවෙයි කියලා හිතන්න එපා. ඒ හින්දා අඬන්නෙ නැතුව අඛන්ඩව සටන් කරපං.‘‘

No comments:

Post a Comment

මැතිව් ප්‍රනාන්දු සහෝදරයා! සැලියුට්!!!

  1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම...