1995 ලංකාදීප පත්තරේ ප්‍රමුඛ විජය පත්තර ආයතනය තුළ අපි කරපු වෘත්තීය අරගලය විසින් පත්තරකරයො ඇතුළු හතළිහකගෙ විතර රස්සා අහිමි කෙරුණා. වැඩියෙන්ම පත්තර විකුණන ඒ පත්තර ආයතනය තුළ පවතින මර්දනකාරී සහ පීඩාකාරී පසුබිම හෙළිදරව් කරන්න අපි ලංකාව පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කළා. කුමාරදාස ගිරිබාව සහෝදරයත්, තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයත් මමත් තමයි මූලිකව සහ අඛන්ඩව මේ වැඩේට කරගහමින් වැඩේ පිටිපස්සෙ හිටියෙ.
මෙම රැස්වීම්
මාලාවේ මුඛ්‍ය දේශකයො වුණේ නව සම සමාජ පක්ෂයේ නියෝජිතයෙක්, ජවිපෙ ඒ මොහොතෙ ප්‍රකාශනය වූ ‘ජාතිය ගළවා ගැනීමේ
පෙරමුණේ’ නියෝජිතයෙක් සහ ජවිපෙන් ගැළවී පසුව හිරු කණ්ඩායම බවට පත්වූ දේශපාලන
කණ්ඩායමේ නියෝජිතයෙක්. හිරු පත්තරය නියෝජනය කළ කණ්ඩායම වෙනුවෙන්
රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා හෝ සිසිර යාපා සහෝදරයා සහභාගි වුණා. නසේ වෙනුවෙන්
බොහෝ විට ආවේ එවක හරය පත්තරේ ප්‍රධාන සංස්කාරක වූ නයනානන්ද රත්නායක සහෝදරයා, රනත්
කුමාරසිංහ සහෝදරයා හෝ ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා. ජාගපෙ නියෝජනය බොහෝවිට විමලසිරි
ගම්ලත් සහෝදරයා විදිහට එදා හැඳින්වුණු විමල් වීරවංශ හෝ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා.
හදිසි හෘදයාබාධයක්
නිසා මේ කියන මැතිව් ප්‍රනාන්දු සහෝදරයා හදිසියේ නික්ම ගිය පුවත දැක්කා.
ඔහු අතිශය සුන්දර
බරපතල විප්ලවවාදී චරිතයක් විදිහට තමයි දැක ගන්නෙ සහ අඳුන ගන්නෙම. ඔහු අන්තිම
ආකර්ශනීය මිනිහෙක්. අපේ නගරං භාෂාවෙන්
කියනවා නම් ‘සුද්දෙක්’ වගේ. දුඹුරුපාට බලල් ඇස් වලින් බලලා ඉතාම සරල විදිහට හිනාවෙන
විට ඕනෑම කෙනෙක් ඔහු වෙත බැඳෙනවා.
අපි ‘විබා’ ලෙස
හඳුන්වපු ගම්ලත් සහෝදරයා නොහොත් විමල් තරමක ආඩම්බරකාර චරිතයක් වෙද්දි මැතිව්
සහෝදරයා ඒකෙ හාත්පසින් ම අනිත් පැත්ත. අන්තිම නිරහංකාර, නිවුණු බරපතල විප්ලවාදියාගෙ
මොඩල් එක. නමුත් වේදිකාව මත කතා කරන්න ගත්තම මැතිව් සහෝදරයා අතිශය ආකර්ෂනීය වේගවත්
කතාවන් පැවැත්තුවා.
ඒ කාලෙ කියන්නෙ
ජවිපෙ එළියට ඇවිත් ආරිය බුලේගොඩ සහෝදරයාගෙ පාගොඩ නුගේගොඩ ගෙදර අල්ලගෙන, ප්‍රගතිශීලී
පෙරමුණ ‘ජගපෙ’ බවට පෙරලගෙන මල්බඳුනෙ දේශපාලනය කරපු අතිශය කාර්යබහුල අවදියක්. ඒ ක්‍රියාවලියෙ පක්ෂෙ නියෝජනය කරපු ප්‍රධාන
ලේකම්වරයා වුණෙත් මැතිව් ප්‍රනාන්දු සහෝදරයා. අතිශය කාරයබහුල දේශපාලන ජීවිතයක් ගත
කෙරුවත් අපි රැස්වීමක් පටන් ගන්න වෙලාවක් දාගෙන ඒක දැනුම දුන්නම, වෙලාවට කලින් ඔහු
එතන.
ඒ විතරක් නෙමෙයි, අපි
ඉස්සර විටින් විට සුප්‍රකට මහජන පුස්තකාලෙ සුප්‍රකට කැන්ටිමේ හමුවුණා. තමන්ගෙම
පිළිවලකට ඇඳුම අඳින, කාඩාවැටෙන හිස කෙස්ස පවා වෙනම හැඩයක තිබුණු ඔහු මට හමුවුණු
සදා මතකයේ රැඳුණු විප්ලවවාදී මොඩලයක්. ඔහුට උවමනා වුණා මාව ජවිපෙ ඇතුළෙ ස්ථානගත
කරන්න. නමුත් ජවිපෙ සහ හිරු බෙදීම ඇතුළෙ මම හිටගත්තෙ භාෂණ සහෝදරයා ප්‍රමුඛ හිරු පත්තරය තුළ ඉතිරිවුණු කණ්ඩායමත් එක්ක. ඒ හින්දා මට ආයෙ මැතිව් සහෝදරයාව ‘දේශපාලනිකව’ මුණගැසුණෙ නෑ.
මම මැතිව් සහෝදරයව
අන්තිමට ඇස්දෙකට දැක්කෙ සහ වචනයක් කතා කෙරුවේ 2000 වසරේ අගෝස්තුවේදී. ඒ, චන්ද්‍රිකාණ්ඩුවේ
‘සුමනවීර බණ්ඩා’ ඝාතක කල්ලිය විසින් ඝාතනය
කෙරුණු චම්මික සුදන්ත සිල්වා සහෝදරයාගේ දේහය රැගත් කිරුළපන සිට බොරුල්ලට ඇදුණු උද්ගෝෂණ පෙරහැරේදි.
නමුත් ඔහු කෙතරම්
මගේ මනසෙ රැඳිලා සිටියාද කිවහොත්, මගේ ‘දුස්ටකමේ
සවුන්දර්ය’ කෙටි කතා පොතේ එන ‘විප්ලවීය කෙට්ටු අතක ස්පර්ෂය’ කියන කතාවෙ ඒ
විප්ලවවාදී චරිතය මම නැගුවෙ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා ඔලුවෙ තියාගෙන. කතාවෙ එන
චරිතයට අබමල් රොනකවත් සම්බන්දයක් මැතිව් සහෝදරයාගෙ නෑ. නමුත් මගේ හිත තුළ ඔහුට
තිබුණු කැමැත්ත හින්දම, ඒ අමාරු වියමන, ඔහු ඉදිරියේ තියාගෙන ගොතන එක පහසු වුණා.
ඔහු පිළිබඳ මතකය
පවා පිළිවලයි. ලස්සනයි.
මැතිව් ප්‍රනාන්දු
සහෝදරය! සැලියුට් !!!
-මංජුල
වෙඩිවර්ධන
2020 ඔක්තෝබර් 04
