එදා ලසන්ත වික්රමතුංගගේ මළගෙදර වූ පාළුව පැන නැඟී තිබුණෙ කවර හිස්කමක් තුළින් ද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු විතරයි. ‘‘මේ කවර නම් මරණයක්ද‘‘ මම හිතමින් සිටියෙ එයයි. මා සමඟ නිදිවැරූ දෑතේ ඇඟිලි පවා ශේෂ කරවන තරම් වූ සෙසු කිහිප දෙනා සිටියේ කුමක් හිතමින්ද?
ලසන්ත වෙනුවෙන් වූ 'පිකට්ටුව' මහත් ජවසම්පන්න විය. ආවේගශීලී විය. වේදනාකාරී විය. එමෙන්ම අවධානම් සහගත විය. ඒ පිකට්ටුවේ උස්ව නැගුණු ඇතැම් සටන් පාඨ ලියැවුණේ ම විසින්. සටන්පාඨ එනතුරු කාර්යාලය තුළ නොඉවසිලිවන්තව හුන් ‘පෝද්දල‘ විටින් විට මා ඇමතුවා. අහසෙහි ගිගුම් නැඟුණේ මා ඔහුට දුරකථනයෙන් කියූ මගේ ආවේගයයි. මා කුරුටු ගෑ ඒ කෝපය ඒ මා අත වූ මගේ සටහන් පොතේ තවමත් නිරුපද්‍රිතව තියෙනවා.
මහා ජනකායක් මැද ලසන්ත අවසන් ගමන් ගියා. ඒ දෙණ උර දරා ‘නිදහස‘ පිණිස එක්ව පිළිණ දුන් මාධ්‍ය සකියෝ අද වෙන් වෙන්ව පීඩාව භුක්ති විඳිනවා.
ඒ මිනිමැරුම අද සැමරුමක්.
මේ සියල්ල අතරේ මෙනෙහි වන බරපතලම සංවේදනාව වන්නේ ඒ ජනශුන්‍ය මළගෙරයි. එකී වපසරියේ වූ මළ පාළුවයි. ඒ නිෂ්චිත හුදෙකලා මොහොතයි. ජනේරුව ගැන වන සියලු කියවීම් අස්සේ ඒ නොකියවුණු පාළුව කියවිය යුතුයි. ජනේරුව ගැන වන සියලු සැමරුම් අස්සේ ඒ මළ ගෙදර වූ පාළුව සැමරිය යුතු නැද්ද?
'කළු ජනේරුව' වූ කලි එදා මා සන්තානයේ පුපුරු ගැසූ පද පේලි කිහිපයයි. එය මුලින්ම කල එළි දැක්කෙ 2012 ජනේරු 25 දා.
++ කළු ජනේරුව ++
එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.
මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.
තණ පත්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.
හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.
උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.
එහෙත් සැනෙකින් රාත්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.
ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.
“ජනවාරි මාසෙත් ඉවරයි”
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.
සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.
වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
“ජීවිතය ම උදුරා ගැනුණු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.”
